Learning Center

හීන් පොද වැස්සක් වැටෙන බව ඇයට දැනුනේ නිදාගන්නට සැරසෙන මොහොතේ දීය. සීතල සුළං තම කාමරයේ විවෘත ජනේලයෙන් එන බව දැනගත් ඇය විගස නැගිට එය වසන්නට සූදානම් වනවාත් සමඟ දඩාං.... දඩාං.... යන හඬින් අකුණු සැරයක් වැදුණේ කන්බිහිරි කරවන සෙයින්ය. තම දෙනෙත වත්ත දෙසට යොමු කරවනවා වෙනුවට මාස 06 ක් වයසැති සිඟිත්තිය දෙස ඇයට බැලුනේ නොදැනුවත්වමය. ඇය ඉපදුණු දවසේ ඇගේ පියා තම රාජකාරියට ගියේය. ඒ තම නිවාඩු කාලය අවසන් වූ නිසාමය. නැවක රාජකාරී කරන සැමියා නිවසට එන්නේ මාස 06 කට වරක් නිසා ඇය තම දියණිය මේ කාලය තුළ පියාගේ ආදරය අඩු නොවන ලෙසම රැකබලා ගත්තාය. ඇය සිනහ වෙන සෑම විටෙකම විනුලගේ රුව මැවී පෙනෙන බව ඇය තම සිතින් විදගත්තාය.

          පොළොන්නරුවේ ඉපිද හැදි වැඩුණු සංජීවනී සහ විනුලගේ ආදර අන්දරය වසර ගණනාවක් පැවිති බව ඇයට සිහි වන විට දැනෙන්නේ හීන් සතුටක් වූවද, දුකක් මුළු ශරීරය පුරාවට ගමන් කරයි. වැලිකන්ද කලුවිල්ලුවට ගොස් සමහර දිනවල අපේ ලෝකයේ තනිවෙලා අනාගතය සිහින දුටු ඇය එය සිහිපත් කරන්නේ මඳ සිනහවක් තුරුලු කරගෙනය. ඔහුගේ බයිසිකලයේ නැගී ඔහුගේ බඳවටා අත් තදින් අල්ලාගෙන තුරුලු වී මුමුණ මුමුණ සෝමාවතී සෑරඳුන් බලා ගමන් කළ හැටි ද ඒ පුණ්‍ය භූමියේ අත් වැල් බැඳගෙන ප්‍රාර්ථනා කළ දේවල් සිතන විට මුලු විශ්වයම දෙදරා යන බවක් ඇයට දැනෙන්නට විය.

මොකද දරුවෝ මේ....

නැන්දම්මාගේ ඒ හඬින් තිගැස්සී ගිය සංජීවනී

ඇයි අම්මා.... යනුවෙන් ඉබේටම කියැවිණි.

බලන්න දරුවෝ මේ කුඩා දරුවා අඬනවා. ඔයා මේ ලෝකේ නෙමෙයිද ඉන්නේ. කෝ මගේ රත්තරං පුතා අඬන්න එපා. හරි හරි ම්ම්ම්ම්ම්ම්ම් ම ම්ම් බලන්න දුවේ....

තම මුණුබුරා දෝතින් වඩාගෙන දරුවාගේ හැඬීම නතර කරන්නට උත්සාහ කරන ගමන් ඇසුවාය.

අනේ නෑ අම්මා මට මං ගැන දුක හිතුණා....

හරි දරුවෝ අපි විනුල ආවම කතා කරමු. මම දන්නවනේ මගේ දුව දුක්වෙන්නේ නැතිව ඉන්නකෝ. මම පුතාත් එක්ක කතා කරන්නම්...

සංජීවනී මහමෙරක් තරම් දුකක් දැනුන නිසා තම නැන්දම්මා බදාගෙන හඬන්නට වූවාය.

දැන් හරි අපි ආවම කතා කරමු....

ඇය ටිකක් හරි සතුටු වන්නේ තම නැන්දම්මා උපදේශන මහතා හමුවීමෙන් පසු වෙනස් වී මේ තරම් ඇය තේරුම් අරගෙන ආදරය දැක්වීම ගැනය. ඇය ඒ අතින් වාසනාවන්ත වූවාය. කෙතරම් දුකක් දැනුන ද ඇය ඒවා සියල්ල විද දරාගෙන ඉන්නේ තම නැන්දම්මා නිසාය. ඇය තමන්ට දක්වන ආදරය තම මවටත් වඩා දක්වන බව ඇය හොඳින් හදුනන්නීය.

තම දුක සගවාගත් ඇය තම පුතු තුරුලට ගත්තේ මුලු ලෝකයම දවාහලුකළ හැකි වේදනාවකින් වූවත් හ්ම්.... හ්ම්.... ලෙසින් දිගු හුස්මක් රැගෙන පහළට හෙලා දුක තුනී කර ගත්තාය.

සිනාවෙනු මැන වේදනා පිසදා - වේදනා පිසදා

වික්ටර් රත්නායකයන්ගේ ගීතයක් ඈතින් ඇසුනේ මටම කියන්නාක් මෙනි. ඇත්ත ජීවිතය සඟවාගෙන සිටින්නට උත්සාහ කරන අපි වගේ තව කොතෙක් මිනිසුන් ඇත්ද කියා ඇයට සිතුනු වාර අනන්තය. මගේ දුක කාට කියන්නද මගේ දුක කවුද අහන්නේ මට කවුද පිහිට වෙන්නේ නැන්දම්මා කියන දේ විනුල අහයි කියා සිතාගන්නට බැරිය...ඒත් මගේ පවුල අපේ සතුට වෙනුවෙන් දරාගෙන විසදුමකට යා යුතුය. ආදරයෙන් ඉන්න කාලයේදී මින්නේරිය වැව් බැම්ම උඩ තුරුලුවෙලා ගමන් කළ හැටි වටදාගෙය හැටදාගෙය නිශ්ශංක ලතා මණ්ඩපය තිවංක පිළිම ගෙය තැන්වල ගත කරපු කාලය තමා ඉදිරියේ මැවි මැවී පෙනෙන්නට විය.

වාහනයක් නිවස අසල නතර වන හඬ ඇසුණ නිසා තමා සිටි ලෝකයෙන් අවදි වූ ඇය ඉහළ මාලයේ සිට පඩි බැසගෙන දිව ආවේ දරුවාද කරපින්නාගෙනය. ඇය දුටු දෙයින් පුදුම වූයේ නැත. ඇගේ නැන්දම්මා ද ඒ වන විට සාලයේ ඉදිරිපිට නවතා ඇති වාහනය දෙස විපරම් කරමින් සිටියාය. අම්මේ... කියනවාත් සමඟ නැන්දම්මා ඔහු බදාගෙන හඬන්නට වූවාය. ඇය ද සෙමින් සෙමින් ඔහු වෙත ලං වූයේ තරමක් බියකින් වූවත් හීන් සතුටක් හදවතේ මෝදු වෙමින් පැවිතිණි. ඇය ලංවීමට පෙර තම සිගිත්තා නැන්දම්මා වෙත හොවා ඔහු වෙත ගොස් සතුට පළ කරමින් ඔහු වටා දෑත් යවා තරයේ අල්ලා තුරුල් කරගත්තාය. ක්ෂණිකයකින් ඇගේ මුලු ශරීරයම  වේදනාවට පත්වෙමින් ගිනි කන්දක් කඩා හැලෙන්නා සේ වේගවත් හැඬීමක් නොදැනුවත්වම මතුවන්නට වූවාය.

මේ මොකද මේ...ඕ.... එන එක දුකක්ද .... ඇයි මේ... ඔහුගේ නිහඬතාවය බිඳමින් වචන එළියට එන්නට විය.

අනේ දරුවෝ මොනවද ඔයා මේ කියවන්නේ මේ දරුවා අඬන්නේ සතුටටනේ

අනේ මේ කෝ දෙන්න මගේ පුතා....

 

 

ඔහු ඇය වෙත යන්තම්වත් නොබලා, දරුවා හුරතල් කරන්නට විය. තව තවත් පුපුරු ගසමින් ඉහළට දුම් බුර බුරා නැගෙන ගිනි කන්දක් මෙන්ම ඇගේ වේදනාව වැඩි වන්නට විය. ඒත් හඬන්නට බැරිය. මේ තරම් වේදනාවක් ඉවසා ඇය මේ තරම් කාලයක් බලා සිටියේ ඔහු එන දිනයයි. ඒත් නිවසට එනතෙක් ඇය ඒ බව නොදන්නේය. කමක් නෑ නිවසට පැමිණ සිටින සැමියා කෙතරම් තමන්ට ආදරය කළ යුතුද, තමන්ට සිය ආදරය ඔහු නොපෙන්වා සිටින්නේ මන්ද යන්න හේතුවක් නැත. මගේ වරද කුමක්ද යන්න සොයන්නේ නැතිව ඔහුගේ වේදනාවන් ඉවසාගෙන තව තවත් ආදරය කරනවා.

දුවේ මේ බඩු ටික ගේ ඇතුළට ගමු

නැන්දම්මාගේ ආදරණීය හඬින් ඇයගේ සිතුවිලි නතර විය. ඇය සියල්ල නිවස තුළට ගොස් දැමීය. ඇය නැවත සාලයේ සිටින තම සැමියා දෙස බලන්නට විය. දරුවා සමඟ ආදරයෙන් සෙල්ලම් කරන තම සැමියා දෙස බැලූ ඇය විගස ඉවත බලාගත්තාය. මට මොකක්ද මේ වෙන්නේ ඇයි මෙයා මේ විදිහට හැසිරෙන්නේ ඇය කොතරම් සිතුවත් සිතාගන්නට නොහැකි විය. ඒත් ඇය ඒ සියල්ල සඟවාගෙන විනුල වෙත ගිය ඇය

දෙන්න දරුවා. ඔයාට මහන්සි ඇතිනේ. ඇගපත සෝදාගෙන එන්න. මම මොනවා හරි බොන්න හදන්නම්....

දරුවා ගත් ඇය ඉක්මනින් පය ඔසවා කුස්සිය ඇතුළට ගියාය. ඒ වනවිටත් නැන්දම්මා තේ හදමින් සිටියාය.

නෑ අම්මේ විනුල කැමති ගස්ලබු බීම එකට. මම ඉක්මනින් හදන්නම්. අම්මා පුතා පොඩ්ඩක් ගන්නවද.... නැන්දම්මා සිනහවක් දක්වා දරුවා තම දෑතට ගත්තාය. ඇයට සිතුණේ නැන්දම්මා දැන් ගොඩාක් වෙනස් වෙලා කියාය. නැත්තම් මගේ පුතාට මමයි තේ හදන්නේ එයා කැමති දේවල් මම දන්නවා ඔයාට වඩා හොඳට කියා තර්ක කර කර මට ඔහුට ඕනේ දේ හදා දෙන්න ඉඩ දෙන්නේ නැත. වෙනදා  එසේ කළත් දැන් එසේ නොවේ. සෑම දෙයකටම නැන්දම්මා උදව් කරයි. ඇයට උපදේශන නිලධාරි මහතා මතක් වූයේ පොඩි කාලයක් බලමු කියා කිව් දේ හරි යයි සිතමින්ය. නැන්දම්මාට ද සිතුනේ තම ලේලි කෙතරම් හොඳ කෙනෙක් ද කියාය. වෙනදා නැති හැසිරීමක් ඇය තම දුවගෙන් දැන් දැන් දකින්නේය. පෙර මෙවැනි දවස්වල ඇය හැසිරුනේ කාමරයට ගොස් තම දුකට හඬන එක මිස වෙනත් කිසිවක් නොවේ. ඇය උපදේශන මහතාට සිතින් පින් දුන්නේය. මේ වෙනස තම පුතාගෙන් හදාගන්නට පුලුවන් නම් යැයි කියා ඇය සිතුවේය. කාමරයට ගොස් තම පුතා සමඟ සතුටෙන් ඉන්නට හැකි වේවා යැයි නැන්දම්මා හදවතින්ම ප්‍රාර්ථනා කළාය. බීම සකස් කරගෙන ඇය තම කාමරයට ගියේය. ඉහ වහා ගිය සතුටකින් බව නැන්දම්මා ඇගේ ඉරියව් තුළින් දුටුවාය.

            

 

ඇය කාමරයට යන විට ඔහු මහන්සියටදෝ ඇදේ හාන්සි වි සිටියේය. බීම එක ටීපෝව මත තැබූ ඇය ඔහු අසලම වාඩි වී මුහුණ වෙත ලං වී හාදුවක් දුන්නාය. ඔහු එවර නම් ඇය දෙස බැලුවේ නොබලා සිටින්නට බැරිම වූ නිසාය. සංජු ඉතිං කියන්න ඔයා ටිකක් වෙනස් වෙලා වගේ කියලා මට දැනෙනවා. ඔහු ද ඇයව තුරුලු කර ගත්තේය. ඇයගේ හදවත නතර වනවා මෙන් ඇයට දැනෙන්නට වූවාය.මොනවා වුණත් කමක් නෑ මට විනුල ලගදි කියා ඇය දෑස්වසාගත්තාය. ඔවුන් ඔවුන්ගේම ලෝකයක නතර විය. තත්ත්පර කිහිපයකින් පියවි ලොවට ආ ඇය බීම එක බොන්න කියා නැගිට ඔහු වෙත ආදරයෙන් පිලිගැන්වූවාය. ඔහු බීම එක තොල ගාන දෙස හොරැහින් බැලූ ඇය මම වෙනස් වුණා වගේ ඔහුත් වෙනස් වෙයි නේද කියා බලාපොරොත්තුවක් යටි හිතෙන් අසන්නට වූවාය. ඔහු බීම බොන අතරේ ඇය ඔහුගේ අත් ඇග පිරිමදින්නට වූවාය. බීම බී ඔහු එකවරම ඇදේ හාන්සි විය. ඇය ඔහුගේ දෙපා දෙස බලා සෙමින් සෙමින් ගොස් ඒවා පිරිමදින්නට පටන් ගත්තාය. ඔහු ද සිනාහවෙමින් දෑස් වසාගෙන ඇයට ආදරය කළ යුතුයි නේද කියා සිතන්නට උත්සාහ ගන්නා සෙයක් පෙන්නු බව ඇය සිතා ගත්තේය.

ආදරය රැකගැනීම කෙතරම් වැදගත් කියා ඇයට දැනෙන්ට වූවාය. සිතට වහා වහා එන සිතුවිලි නතර  කර ටිකක් ගැටලු ඇතුළතින් බලන්න පුරුදු වීම කොච්චර හොඳද කියා ඇය සිතුවිලි අතර තනිවිය. ලිංගිකත්වය සමග බැදුණු ආදරය ස්වාමියා වෙත දක්වන්නේ කොහොමද කියන එක උපදේශන මහතා දැක්වූ ආකාරය ඇයට සිහිපත් වූවාය.

“අපි දැන ගන්නට ඕනේ විවාහයක් සිදුවන විට ආදරය රැකගන්නේ කොහොමද කියලා දෙන්නටම ඒ අවබෝධය වැටහීම තියෙන්න ඕනේ. නැත්තම් ගැටලු අපට පෙනෙන්නේ නැතිව යනවා. එකිනෙකාගේ ස්පර්ශය ආදරයත් එක්ක නොතිබුණොත් විවිධ ගැටළු පවුල තුළ ඇති වෙනවා. දෙන්නාගේ හැගීම් දෙන්නම අවබෝධ කරගන්න ඕන. කවදාවත් තරහා වෙන්න කේන්ති ගන්න එවැනි දේ කරන්න එවැනි දෙයට ගමන් කරන කිසිවක් අපි අතින් වෙන්නේ නෑ කියාල අපිම එකගතාවයන්ට එන්න ඕනේ. ඒක දෙන්නම නිදහසේ කතා කරගන්න දිනකට විනාඩි දහයක්වත් කාලයක් ගන්න ඕනේ. ආදරය කරන කාලේ වගේ දෙන්නට දෙන්නා ආදරය කරන්න ඕනේ. ඔබ අහල තියෙනවද එඩ්වඩ් ජයකොඩි මහතා ගායනා කරන සිංදුවක් තියෙනවා”

ගං ඉවුරේ තුරු ලතා මඬුල්ලේ - සයුරු මායිමේ පුලින තලාවේ

සොම්නස් හැඟුමින් චමත්කාර වේ - අප ගැන අපි හිතු හැටි මිහිරියි

ඒ සිදුවීම තවත් තැනෙක තියෙනවා

දොරේ ගලා කරදර ආවත් - ඉදිමු එදා මෙන් වෙනස් නොවී

ඒ ආදරය කරන කාලේ අහන්න ඒ ආදරය අපි රැකගන්න ඕනේ ඒ නිසා කිසිවිටෙක අපි දෙන්නාගේ ගැටලු කතා කරන්න අපි දෙන්නා ලැජ්ජා වෙන්න අවශ්‍ය නෑ. සෑම වැඩක්ම ඉක්මනින් අවසන් කර ආදරය කරන්න කාලයක් ඉතිරි කර ගන්න අපි දෙන්නම උත්සාහ කරන්න ඕනේ. අන් අය කියන කතා ඒ අයට වටිනාකමක් දීම වැනි දේවල් දෙන්නාම විසින් කරන්න හොඳ නෑ. කළ යුත්තේ දෙන්නට දෙන්නා නැතුවම බැරි දෙන්නෙක් ලෙස සිතන්නට හැකි වන ලෙස ආදරය කිරීමයි. වටිනාකම් එක් කිරීමයි. එතකොට අපි දෙන්නට දෙන්නෙක් නොවන බව දැනේවි. අර සිංදුවක් තියෙන්නේ සෝමතිලක ජයමහ ගායනා කරන

දමා යන්නට නොහැකි මිහිමත - එකම සම්පත ඔබම පමණයි

මිදී යන්නට නොහැකි මේ ලොව - එකම බැදුම ද ඔබම පමණයි

ඒක තමයි ආදරය කියන්නේ එතකොට තමයි අපිට සතුටින් ඉන්න පුළුවන් වෙන්නේ. අපේ ගෙදර ආදරය විනය සතුට මේ කියන කරුණු තුනෙන් එක්ව වැඩ කරනවා කියලා අපි අපට එකඟ වෙන්න ඕනේ.-- දුවේ --

කියාගෙන තම නැන්දම්මා කාමරය වෙත එබී බලන විට ඇය ඔහුගේ දෙපා පිරිමදිමින් ඉන්නා හැටි දුටුවාය. බිත්තියේ එල්ලා ඇති උපදේශන මහතා දුන් කැලැන්ඩරය තුළ දැක්වෙන අධ්‍යාත්මික බැඳීම, බුද්ධිමත්ව අවබෝධයෙන් කටයුතු කිරීම, ලිංගික බැඳීම සවිමත් වීම, සක්‍රීයව සවන් දීම, ශක්තීන් හඳුනා ගැනීම, ප්‍රශංසා කිරීම තුළින් ආදරය සදාකල් රැක ගැනීමෙන් විශ්වාසය ආරක්ෂා කරමින් කැපවීමෙන් අපේ ලෝකය තුළ ජීවත් වීම තුළින් ගැඹුරු විවාහ සම්බන්ධතාවයන් ඇති වේ. යන්න කියවා ඉක්මනින් දොර රෙද්ද තිබූ පරිදි සකස් කර නිවස තුළට වේගයෙන් පියවර එසෙව්වේ සිත තුළ ඇත් වූ කර්කෂව වියළී ගොස් තිබුණු පොළවට වැසි වැටෙන පරිසරයම සිනාසෙනවා වාගේ නැවුම් හැඟීමකින්ය. කාලය ගෙවී ගියේය. තම දරුවා පැමිණ සති  දෙකක් ගෙවී ගොස් ඇත. ඔවුන් දෙදෙනා දෙදෙනාට හොඳින් ගරු කරමින් එකිනෙකාගේ ගැටලු කතා කරමින් ඉතාමත් සතුටින් කාලය ගත කරන බව නැන්දම්මාට දැනුනාය. මම මේ දෙන්නගේ දේවල්වලට ඇඟිලි ගැසීම හින්දා මේ දෙන්නා දුකෙන් ඉන්න ඇති කියලා ඇයට දැන් දැන් සිතේ. තම පුතා නිවසට මෙසේ ආ විට සියලු දේවල් කරන්නේ මවගෙන් අසාය. පුතා එසේ කරන්නේ මම නැත්තම් කේන්ති අරන් බනින නිසාය. ලේලි කියන දේවල් කරන්නේම නැතිව එසේ සිටීම නිසා ගැටලුවක් ඇති වෙනවා නේද කියලා එදා ඇයට තේරුම් බේරුම් කර ගන්නට බැරි විය.වෙනදා ඔවුන් කාමරයේ තනි වි සිනහා වීමවත් නැන්දම්මාට කේන්ති යන කරුණක් වූවාය. ඒ නිසා ඔවුන් එකිනෙකාගේ මුහුණ බැලූ අවස්ථා ද ඇති නොවීය.

ඒත් දැන් දැන් නැන්දම්මා එය තේරුම් ගෙන ඇත. අපි පුතාලා විවාහ කරලා දුන්නට පස්සේ ඔවුන්ගේ ලෝකයට එබිකම් කර මැදිහත් වෙන්නේ නැතිව ඔවුන්ව හඳුනාගෙන වැඩ කරන්න ඕන බව දැන් තමයි තේරෙන්නේ. නැත්තම් පුතා වෙනදා ඇය ළඟට යන්නේ ම නෑ. ලේලිගේ වැඩේ අඬන එක. මම බනිනවා ගෙදරත් එක්ක මුස්පේන්තු වෙනවා මේ ඇඬිල්ලට කියලා. එතකොට පුතයි දුවයි රන්ඩු වෙනවා. එහෙම නැත්තම් පුතා ලැප්ටොප් එකත් එක්කමයි. ඇයට තුරුලු වෙලා නිදාගන්නෙම නෑ. ඒකටත් ඇය දුක්වින්දා. ඇයට කිසි සතුටක් වින්දනයක් ලැබුණේම නෑ. දැන් මට හරි සතුටුයි.

අම්මේ මේ බලන්නකෝ පුතා තම මව වෙත දුවවිත් කෑ ගසන්නට විය.

අනේ දරුවනේ, මේ කොල්ලා හොඳටම නිදි යන්න එළියට ගිහින් ඕනේ දෙයක් කරගන්න. ඔවුන් දෙදෙනා දිව ගියේ ඉතාමත් සතුටින්ය.

නැන්දම්මා තම සිගිත්තා ඇඳ මත ආරක්ෂාකාරීව තබා දුරකථනය වෙත ගියේ මුලු ලෝකයක්ම ජයගත් විලසින්ය. හලෝ හෙලෝ උපදේශන නිලධාරි මහත්මයා ද?

ඔව්....

අනෙක් පසින් ඇසෙන්නට විය.

අනේ ඔබතුමාට පිං මගේ දරුවෝ දැන් සතුටින් ඉන්නවා. මගේ පුතා දැන් සති දෙකක් වෙනවා ගෙදර ඇවිත් මගේ දුව වෙනදා වගේ නොවෙයි ගොඩාක් වෙනස් වෙලා....

ඒක තමයි මම කීවේ ටිකක් කලබල නැතිව හෙමින් අපේ දිහා ගැඹුරින් බලලා අනෙක් ලෝක දිහා අවධානයෙන් බලලා අපේ තියෙන පුංචි දුර්වලතා හදා ගන්න ඕනේ කියලා ඔයා එදා කලබල වුනානේ දුව හොඳ නෑ කියලා....

අනේ නෑ මහත්තයෝ දැන් මට එහෙම දෙයක් දුවගෙන් පෙනෙන්නේ නෑ. මම හිතුවේ ඇත්තටම දුවගේ වරදක් නෑ දැන් මට පැහැදිලියි මගෙයි වරද .....

නෑ ඒක වරදක් නෙමේ හඳුනා නොගැනීමයි.... තමන් තමන්වම නොදැකීමයි...

ඔව් මහත්තයෝ දැන් මට තේරෙනවා මගේ පැත්තෙන් නෙමේ ඔවුන්ගේ පැත්තෙන් ඔවුන්ගේ ලෝකෙට ගිහිල්ලා හිතන්න ඕනේ කියලා....

බොහොම හොඳයි... බොහොම හොඳයි... ඔබතුමිය එහෙම හිතන එක... ඔබතුමිය හොඳ අම්මා කෙනෙක්...

අනේ දුවයි පුතයි එක්ක දවසක් එන්නම් මහත්තයා හම්බ වෙන්න... බුදු සරණයි....

ඇය දුරකථනය තිබ්බේ හදවතේ පුරවාගත් මහත් සොම්නසකින්ය.

අනේ නිකා ඉන්නකෝ ඔය ඔය ඔය ඔයා මොකද කරන්නේ අනේ හහ්හා හහ්හ්හහා

මුළු නිවස පුරා දෙදෙනාගේ සිනහ හඬ දෝරේ ගලා යනවා

නැන්දම්මා සිඟිති පුතා ලඟින් හාන්සි වූයේ අපේ ලෝකයෙන් එහා තවත් බොහෝ දේ ඇති බව සිතමින්ය.
 

 ආර්.එම්.ඒ.නිමල්සිරි

උපදේශන නිලධාරි

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය